StatCounter - Free Web Tracker and Counter

A special felicitation Ceremony and a Puja were held at Sri Saddhatissa International Buddhist Centre (London Kingsbury Vihra) to bless the head of vihara Aggamahapandita Venerable Galayaye Piyadassi Sangha Nayaka Thero on his 75th Birthday.

ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ (ලන්ඩන් කිංග්ස්බරි විහාරයේ) විහාරාධිපති අග්ගමහාපණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීම සඳහා උපහාර උලෙළක් සහ විශේෂ ආශිර්වාද පූජාවක් ජුලි මස 2 වෙනි දින පැවැත්විණි.

කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ග මහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්ස යතිවරයන් වහන්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය ග්‍රාමයේ 1947 වසරේ ජුනි මස 28 වැනිදා උපත ලැබූ අඹේකෝන් මුදියන්සේලාගේ සුරවීර පැවිදි දිවියට පිවිසෙන්නේ 1970 වසරේදීයි.

මූලික අධ්‍යාපනය සදලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින් ලබා ගන්නා අතර විද්‍යෝදය මහ පිරිවෙනින් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය උන් වහන්සේ හිමිකර ගන්නවා. 1984 වසරේදී විදේශීය ධර්ම ප්‍රචාරය කිරීමේ කටයුතු සදහා දෛවෝපගත ලෙස පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් එංගලන්තයේ ලන්ඩන් නුවර බෞද්ධ විහාරයට පැමිණෙන්නේ එහි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියන්ගේ ආරාධනයකට අනුවයි.

බුදුන් වහන්සේගේ “ එක මග දෙදෙනෙකු නොයව් “ යන සංකල්පය සිතට ගත් පූජ්‍ය ගලයායෙ පියදස්සි හිමියන් බ්‍රිතාන්‍යයේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා මහාචාර්ය පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස හිමියනුගේ මග පෙන්වීම යටතේ ලන්ඩනයේ සෙසු ප්‍රදේශ වල වෙසෙන බෞද්ධ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 1989 දී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් කෙන්ටන් ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කරනවා.

සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වීමෙන් පසු තමන් වහන්සේට දුෂ්කරක්‍රියා කළ සමයේ උවැටැන් කළ පස්වග මහනුන්ට ප්‍රථමයෙන් ධර්මය දේශනා කරමින් කළ ගුණ සැලකීම ක්‍රියාවෙන්ම පෙන්වූ සේම පූජ්‍ය ගලයායේ පියදස්සි හිමියන් තමන් වහන්සේගේ ගුරු හිමියන් වූ හම්මලව සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේට ගෞරව පිණිස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් නම් කිරීම තමන් බුදු මග යන යතිවරයන් වහන්සේ නමක් බවට කදිම සාක්ෂියයි.

පූජ්‍ය ගලයායේ පියදස්සී ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක සහ සමාජ ආගමික සේවය අගයමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරන සංඝනායක පදවියෙන්ද, අස්ගිරි මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද, බ්‍රෙන්ට් නගර සභාව විශිෂ්ට පුරවැසි නාමයෙන්ද බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින MBE ගෞරව නාමයෙන්ද, බුරුම රජය අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයද පුදකර සිටියා.

ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු අතර හෙට්ටිපොළ ගල්කන්ද මුදිත ළමා නිවාසය අරඹා අනාත, අත්හල, අසරණ, දරුවන් යහමගට ගැනීමේ ආයතනයේ දරුවන්ට නේවාසික පහසුකම් සැළසීමද, සුනාමි ව්‍යසනයෙන් අසරණවූ ජනතාව උදෙසා ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ සුනාමි ගම්මානයක් ඉදිකිරීමද, නාවල ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර පුස්ථකාලය ඉදිකිරීමද කැපී පෙනෙයි

75 වැනි වියට පා තැබූ පූජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේට මේ සමාජ මෙහෙවර තවත් ඉදිරියට සිදුකරමින් චිරාත් කාලයක් නිදුකින් සිටීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Stay Connected

Get Newsletter